වසන්තයෙ මුහුණ අර! එබි එබී
රිදී හසරැල් ඉරක් අඳිනවා
කඳුළු බිඳුවක් තව ම
මෙ තැන තනි රකිනවා
ඔව්! ඔබේ නමට එය තිබෙනවා
සීන් සිරිපොද නඟන
ගීතයෙක වෙලී ආ
ඔබේ හඬ සීනයේ රැඳෙනවා
රාත්‍රිය පුරා රැව් නැඟෙනවා
රන් එළිය සසල වන
තාරකා ඇසින් ඔබ
ඉහළ ආකාසයේ
නපුරු බැල්මෙන් මදෙස බලනවා
සැනෙන් මම බිම බලා ගන්නවා
ළයේ තෙත් සීරාව
මතින් දළු ලා නැඟෙන
රෝමියා පැල අතර
මුදු ඇඟිලි තුඬක උණුසුම
විටෙක දැනෙනවා
එහෙත් ඔබ නොවන වග හැඟෙනවා
සිහිනයෙන් වුව ද මට හැඟෙනවා
ඇත්තම යි දෑස් අග තෙමෙනවා
සිහින සිතුවම් පෙඟී වැටෙනවා
කඳුළු මතුවනු නොදී දෑතින් ම වසාගෙන
වෑයමෙන් පෙති මුදන සුදු සිනා මල් කැකුළ
මුසාවක් බව ඔබත් දන්නවා
මා මෙන් ම දන්නවා
සුසුම් සුළඟින් පවා සසල වන
මල් පියල්ලක් රැගෙන
නිය තුඬින් පෙළන විට
රිදෙන බව ඔබ හොඳින් දන්නවා
මා මෙන් ම දන්නවා
එහෙත් ඔබ නොදත් බව කියනවා
සුවඳ විඳ විඳ ම පෙති මඬිනවා
සැහැසියක යැයි ඔබට
දොස් තබන්නට විටෙක
මගේ දිව නිතැතින් ම නැමෙනවා
ඉන් ඔබට රිදෙන වග දන්නවා
ඉතින් මම නොකියා ම ඉන්නවා
ලෝකයේ ඒ කොනින් මේ කොණට
සොයා ඉගිලී ගොසින් දස'නුදිස
දෙපාරක් පිපෙන එක මලක් මා
සොයා එන්නැයි ඔබට කියනවා
බැහැ! ඔබට බැරි වගත් දන්නවා
ඔබ නොදත් නමුදු මා දන්නවා
සිසිරයේ කටුක සීතල අඳුර නිමා වී
වසන්තය කෙළිදෙලෙන් ඇස් අරින කාලයට
ඔබත් ඒ ඇත්ත දැන ගන්නවා
ඔව්! ඔබත් හොඳින් දැන ගන්නවා
පමා වූ ප්‍රේමයක
මියෙන උණුහුම ඇඟට දැනෙන කොට
වසන්තය ඇස් පියා ගන්නවා
අන්න එදිනට ඔබත් හඬනවා!
(1989)
No comments:
Post a Comment