සොඳුර නොකිපෙන්න !
දුෂ්කරයි රළු කරළු වූ මේ මාවත
සොඳුර නොහඬන්න !
කර්කෂයි රුදු කටුක වූ මේ මාවත
එන්න! අත මට දෙන්න
පා නඟමු අපි එක්වන්ව
පොඩි කඳුළු බිඳුවකට බැහැ
ජීවිතේ වසා ගත්
කිළිටි රොන් මඬ කැටිති දොවන්නට
බලන් අර!
නබෝ ගැබ වසාගත්
දාගප් බුබුළු අග
දේවතා කොටු අලු කරන චුඩාමිණ
බලන් නළියනා අර බෝ ළපලු
නුඹේ තොල් දෙපට අග
වල ගැසෙන ප්‍රහර්ෂය සේම
නිමල වූ බෝ රුකේ
පොතු කැපුණු කඳ තුළ
බැක්ටීරියා හා දිලීරද වෙසෙත්!
අතු අග රැඳි පලු පත්
මා වවුලෝ බුදිත්
සැදැහැවතුනට අකැප මුත්!
දාගැබේ සුදු සෙවණැ පත්
කාකයෝ වසුරුද හෙළූ මුත්
ජීවිතය විලසින්ම ඒ හැම
නිතින් අංජලිකරණීය වෙත්!
ස්නේහය සුදුයි
සුදු ඔසරි පට සේ මුදුයි - මොළකැටියි
මරණයද මුදුයි සියුමැලියි
සුදු වියන් බැඳෙනුයේ ඒ නිසයි
ජීවිතය හැඩි දැඩියි - කලුයි
රාත්‍රියසේම බිය කරුයි
ළහිරු එහි ගෙන ආ යුතුයි
එතෙක් දෙපයින්ම අප යා යුතුයි!
සොඳුර නැඟිටින්න !
පිසගන්න ඔය කඳුළු
එන්න අත මට දෙන්න!
පා නඟමු අපි එක්වන්ව
දොවා පැන් සනහා
සල් මලක් සේ ගෙන ජීවිතය
පුද කරමු ඉතින් අපි
අපගේම දෙපා මුල
ඔබ ස්පර්ශ කරයි මගේ කුඩා හදවත!!!
ReplyDelete