2012/02/23

අර ඈත පින් බිම

සොඳුර නොකිපෙන්න !
දුෂ්කරයි රළු කරළු වූ මේ මාවත
සොඳුර නොහඬන්න !
කර්කෂයි රුදු කටුක වූ මේ මාවත
එන්න! අත මට දෙන්න
පා නඟමු අපි එක්වන්ව
පොඩි කඳුළු බිඳුවකට බැහැ
ජීවිතේ වසා ගත්
කිළිටි රොන් මඬ කැටිති දොවන්නට

බලන් අර!
නබෝ ගැබ වසාගත්
දාගප් බුබුළු අග
දේවතා කොටු අලු කරන චුඩාමිණ
බලන් නළියනා අර බෝ ළපලු
නුඹේ තොල් දෙපට අග
වල ගැසෙන ප්‍රහර්ෂය සේම

නිමල වූ බෝ රුකේ
පොතු කැපුණු කඳ තුළ
බැක්ටීරියා හා දිලීරද වෙසෙත්!
අතු අග රැඳි පලු පත්
මා වවුලෝ බුදිත්
සැදැහැවතුනට අකැප මුත්!
දාගැබේ සුදු සෙවණැ පත්
කාකයෝ වසුරුද හෙළූ මුත්
ජීවිතය විලසින්ම ඒ හැම
නිතින් අංජලිකරණීය වෙත්!

ස්නේහය සුදුයි
සුදු ඔසරි පට සේ මුදුයි - මොළකැටියි
මරණයද මුදුයි සියුමැලියි
සුදු වියන් බැ‍ඳෙනුයේ ඒ නිසයි
ජීවිතය හැඩි දැඩියි - කලුයි
රාත්‍රියසේම බිය කරුයි
ළහිරු එහි ගෙන ආ යුතුයි
එතෙක් දෙපයින්ම අප යා යුතුයි!

සොඳුර නැඟිටින්න !
පිසගන්න ඔය කඳුළු
එන්න අත මට දෙන්න!
පා නඟමු අපි එක්වන්ව
දොවා පැන් සනහා
සල් මලක් සේ ගෙන ජීවිතය
පුද කරමු ඉතින් අපි
අපගේම දෙපා මුල

2012/02/18

පැන් වැඩුම


හැපි හැපී කඳු කොපුල් මත
හඬා බසිනා කඳුළු කඳුරු ද
සි‍ඳෙයි - සීතල කඳුකරේ මේ
සුසුම් උණුසුම් රශ්මියේ !
ඉකි ගසා ළයැ අත තබා
එබි එබී වෙවුළන ඉළුක් තුඬැ
රැ‍ඳෙන්නේ ඒ කඳුළුදැයි මට
නො තේරෙයි අම්මේ !

ආදරය උතුරා පිරූ
කිරි රස දැනී රෑ සීනයේ
හද තෙමා ගැලුවේ මෙ දා
ඒ කඳුළු දෝ අම්මේ ?

ඉණැ තබා නෙලනා පලා
ගෙනවුත් කැවූ දුවනා මුවන්
අහලක පවා නොම වූ දිනේ
හුරු පුරුදු සේ තනිව ම නැඟී
ගියෙ ඇයි ඉතින් මේ විගසිනේ?

නිම්මා නැතිව දුක් අනුභව කොට බතට
සම්මා සමිඳු සේ ඉවසා දුක් ගැහැට
පෙම්මාදරය අහවරයක් නැති හිතට
අම්මා ගියේදෝ කිරි එරවා එන්ට

කාසිගස් සර සරය අතරේ
පොර වැටී නොමිනිස් නගරයේ
දිනෙක කොල අහුරක් කඩාගෙන
නුඹ බලන්නට ගමට එන්නයි
සැරසුණේ මා සත්තමයි !
තරහ වීදෝ නුඹත් මා හා
මේ ලෙසින් සැඟවී ගියේ?

පස් පිඬක් ලමි හිත හදාගෙන
රන්රුවන් ඇත්තෙත් එසේමැයි !
මහ පොළොව සේ උතුම් අම්මේ
කවුරු අප නෙත් පිස දමත්දැයි?

අන්ධකාරය හූ කියාගෙන
හඬාගෙන දුවනා
රේල් පාරෙන් පියවරක්
ඉහළට තබාලා ගොඩවෙනා
හවුල් ඉඩමේ පස් පිඬැලි යට
මගේ හදවත වළ දමා
එතැන දචසක මල් පිපෙන තුරු
හිඳිමි කඳුලින් පැන් වඩා

2012/02/07

තීර්ථය - ඔබ!

සැඳෑ හිරු උණුසුම් දෙතොල වැද
පණ පෙවී විලියෙන් රතුව ගිය
දිගන්තය ඉම අහස් කොපුලත
බි‍‍ඳෙන රළ කඳුළින් තෙමේ
සයුරු දිය මත පිපී නලියන
එළි තිතක් මෙනි ජීවිතේ !

අවරගිරි නැටියෙන් මිදී
හිරු ඉදී පරවී වැටේ
යළිදු හෙට එන සහන් එළියක
පොදක් ක්ෂිතිජය මත ඉසේ

මිනිස් සන්තානයේ ඇවිලෙන
පැතුම් තරුවැල එළි පොකුරු යට
වෙරළ මත ඇඳි සියක් පියවර
සයුරු රළ දිවගින් මැකේ

පෙර දිනෙක සහ පිරිවරින්
ලොව සොයා ආ දිගු ගමන් මඟ
නැවතුමක් සනිටුහන් කැරැ ලූ
නැවැතුමක් බව ජීවිතය මට
පසක් කැර දුන් තීර්ථය ඔබ !

පතුල් බිඳ ලූ - රුවල් හැකි ලූ
හබල් සිඳ ලූ - වෙරළ හැරැ ලූ
යාත්‍රාවෙක හිසට බර දී
ඉසුඹු ලන'තුර සිතක් විය මට
මහා ගැඹුරකි දිවි ගමන් අග !

පිපෙන පෙණ මල් නඟන හසරැල්
හඬන දියවැල් කෙළන සුරතල්
කිරි කවඩි - වැලි මැඳුරු බැ‍ඳෙනා
බොළඳ සුකොමල වෙරළ දුට මැන
එය නොවේමැයි ජීවිතේ !

සුවහසක් වේදනා ගැබ්බර
දරා සැඟැවූ දියතුරේ
නිදන් කළ සෙල් පිටෙක ලියැවුණ
මහා රහසකි ජීවිතේ !

2012/02/06

විකසිත වන්නට

දවස නිමා වී නම්
විහඟ ගීයද ගොළු නම්
සුළඟ වෙහෙසින් සුසුම් ලා නම්

අන්ධකාරයෙ රුවල් පට
මා සිසාරා හෙලනු මැන
අතුරවා ස්වප්නයේ ඇතිරිලි
හොවා සුව නින්දෙක ලොව ම
වසා ලනු මැන සෙමෙන්
සවස පර වූ රත් නෙළුම් පෙති

ගමන නිමා වනු පෙරාතු ව
ඔලොගුව සිස් වූ
සළු ඉරී කිළිටි වූ
දිරි සිඳුණු ඒ යාත්‍රිකයා
මුදා සන්තාපයෙන්

කුළුණුබර අඳුර තුළ
සැඟවගත් කුසුමක් සේ
පුරාලනු මැන ඔහු හෙට
නැවුම් ප්‍රමුදිත ජීවයෙන්

(රවින්ද්‍රනාත් තාගෝර් කිවිඳුන්ගේ නොබෙල් සම්මාන ලාභී 'ගීතාංජලී' කෘතියෙන්)

2012/01/27

ඔබ හඬන දවසේ දී

සිසිරයේ හිම තලා අද්දරින්
වසන්තයෙ මුහුණ අර! එබි එබී
රිදී හසරැල් ඉරක් අඳිනවා
කඳුළු බිඳුවක් තව ම
මෙ තැන තනි රකිනවා
ඔව්! ඔබේ නමට එය තිබෙනවා

සීන් සිරිපොද නඟන
ගීතයෙක වෙලී ආ
ඔබේ හඬ සීනයේ රැඳෙනවා
රාත්‍රිය පුරා රැව් නැඟෙනවා
රන් එළිය සසල වන
තාරකා ඇසින් ඔබ
ඉහළ ආකාසයේ
නපුරු බැල්මෙන් මදෙස බලනවා
සැනෙන් මම බිම බලා ගන්නවා

ළයේ තෙත් සීරාව
මතින් දළු ලා නැඟෙන
රෝමියා පැල අතර
මුදු ඇඟිලි තුඬක උණුසුම
විටෙක දැනෙනවා
එහෙත් ඔබ නොවන වග හැඟෙනවා
සිහිනයෙන් වුව ද මට හැඟෙනවා
ඇත්තම යි දෑස් අග තෙමෙනවා
සිහින සිතුවම් පෙඟී වැටෙනවා

කඳුළු මතුවනු නොදී දෑතින් ම වසාගෙන
වෑයමෙන් පෙති මුදන සුදු සිනා මල් කැකුළ
මුසාවක් බව ඔබත් දන්නවා
මා මෙන් ම දන්නවා

සුසුම් සුළඟින් පවා සසල වන
මල් පියල්ලක් රැගෙන
නිය තුඬින් පෙළන විට
රිදෙන බව ඔබ හොඳින් දන්නවා
මා මෙන් ම දන්නවා
එහෙත් ඔබ නොදත් බව කියනවා
සුවඳ විඳ විඳ ම පෙති මඬිනවා

සැහැසියක යැයි ඔබට
දොස් තබන්නට විටෙක
මගේ දිව නිතැතින් ම නැමෙනවා
ඉන් ඔබට රිදෙන වග දන්නවා
ඉතින් මම නොකියා ම ඉන්නවා

ලෝකයේ ඒ කොනින් මේ කොණට
සොයා ඉගිලී ගොසින් දස'නුදිස
දෙපාරක් පිපෙන එක මලක් මා
සොයා එන්නැයි ඔබට කියනවා
බැහැ! ඔබට බැරි වගත් දන්නවා
ඔබ නොදත් නමුදු මා දන්නවා

සිසිරයේ කටුක සීතල අඳුර නිමා වී
වසන්තය කෙළිදෙලෙන් ඇස් අරින කාලයට
ඔබත් ඒ ඇත්ත දැන ගන්නවා
ඔව්! ඔබත් හොඳින් දැන ගන්නවා

පමා වූ ප්‍රේමයක
මියෙන උණුහුම ඇඟට දැනෙන කොට
වසන්තය ඇස් පියා ගන්නවා
අන්න එදිනට ඔබත් හඬනවා!

(1989)

පිය සමර

සේපාලිකා පඳුර 
මල් පුදන්නේ කාට?
මලින් පාවඩ එලා තිබුණා
පාන් පැල අඳුරු වී 
එළි නිවාගෙන දුකට
සොවින් වාවනු බැරිව හඬනා
සංසාර ගිරි දඹේ 
පියවරෙන් පියවරට
වෙහෙස වී ඉතින් හති වැටුණා
ඒ වගක් නොකියා ම 
හිනැහෙමින් එකලා ව 
පියාණෙනි නුඹ මෙතැන නිදනා

කිරිබතක් කවන්නට 
දරුමුණුබුරන් හැමට
ගමට එන්නැයි ලියා තිබුණා
අවුරුද්දෙ ගෙට එන්ට
පා පියුම් වැඳ ගන්ට
එරබදු මලුත් බලා සිටියා

තව්තිසාවෙන් ඇවිත් 
රහසේ ම සුර සෙනඟ
දැන් ඉතින් යමු කියූ සැනිනා
බෑ කියන්නද කෝම 
ඉතින් යන්නට වුණා
ගහ කොල ද ඉකි ගසා හඬනා

නොඅසාම දායාද
ජීවිතය දුන් නුඹට
සමුදෙන්ටවත් වරම් නොතියා
රහසේම ගිය දවස 
වෑවෙනු කෙසේ කඳුළ
පර මලේ පෙති උඩට වැටුණා

2012/01/26

හන්තානෙන් පිට මං වී යන්නට

ඉතින් අවසර දමා යන්නට
හන්තාන කුමරී
නුඹේ නලලත සිඹිනු හැකි නම්
සරා සඳවත වී
කැදලි හැර යන විහඟ නෙතු අග
විතරම ද දුක මේ?
වසන්තය හෙට ඒවි තනියට
රැගෙන නව කව් ගී

කඳුළු දිය බැඳ සීන වපුරා
තක්සලා හෙවණේ
කිරිවදින තුරු ගැයූ සීපද
කුරුලු තුඬ ගොලු වී
වප් මඟුල් සිරි නිමාවේ දැන්
කැදැල්ලෙන් ඉගිලී
කොහොම යන්න ද? ඒත් යන්ට ම
වෙයි ඉතින් වෙන් වී

ඇහැල තුරු පෙළ මල් වරන විට
පයට පියවිලි දී
විඩාබර නෙත් පෙඟෙයි පෙර දින
මතක රොන් තැවරී
දයාබර මල් පොකුර ගිලිහී
දසත විසිරෙද්දී
අවසර යි නටුවෙන් හැලෙන්නට
කැකුළකට ඉඩ දී


(2000 ජනවාරි)

ඔබේ ගීයයි මේ

ඔබට ඇසෙනවද
මා හදේ ඔබ ලියූ
ගීතිකාවයි මේ

නොමළ සිතිවිලි - විජල කතරේ
ඇහිඳ එකිනෙක - මතක කැබිලිති
පෙල ගැසූ
ඔබේ ගීයයි මේ

ඔබේ සියුමැලි - ඇඟිලි අතරේ
තැලී මිරිකුණු - මහද පුපුරා
ගලා ආ
ඔබේ ගීයයි මේ