2012/01/27

පිය සමර

සේපාලිකා පඳුර මල් පුදන්නේ කාට?
මලින් පාවඩ එලා තිබුණා
පාන් පැල අඳුරු වී එළි නිවාගෙන දුකට
සොවින් වාවනු බැරිව හඬනා
සංසාර ගිරි දඹේ පියවරෙන් පියවරට
වෙහෙස වී ඉතින් හති වැටුණා
ඒ වගක් නොකියාම මඳ මඳව හිනැහෙමින්
පියාණෙනි නුඹ මෙතැන නිදනා

කිරිබතක් කවන්නට දරුමුණුබුරන් හැමට
ගමට එන්නැයි ලියා තිබුණා
අවුරුද්දෙ ගෙට එන්ට, පා පියුම් වැඳ ගන්ට
එරබදු මලූත් බලා සිටියා

තව්තිසාවෙන් ඇවිත් රහසේම සුර සෙනඟ
දැන් ඉතින් යමු කියූ සැනිනා
බෑ කියන්නද කෝම ඉතින් යන්නට වුණා
ගහ කොලද ඉකි ගසා හඬනා

නොඅසාම දායාද, ජීවිතය දුන් නුඹට
සමුදෙන්ටවත් වරම් නොතියා
රහසේම ගිය දවස වෑවෙනු කෙසේ කඳුළ
පර මලේ පෙති උඩට වැටුණා

1 comment:

  1. අපිට අකුරු කෙරූ ඒ මහා ඇඳුරාණනි,
    හැඳින ගතිමි ඔබේ තවත් එක් පැතිකඩක් මෙසේ......................

    ReplyDelete