2016/11/09

සඳ බැස යන විට

සඳ බැස යන විට
තුරු මුදුනෙන්
පලුපත් ගුලි වී වර්ෂාවේ


(බෂෝගේ හයිකු කවි ඇසුරින්)

2016/09/11

බැස ගොස් හිරු බොහෝ වෙලා - විලියම් වර්ඩ්ස්වර්ත්

බැස ගොස් හිරු බොහෝ වෙලා
තරු එක දෙක එබෙයි බලා
කුරුලු පැටව් පිඹිත් නළා
ගහ කොළ මැද වහං වෙලා


සිටිනා මොබ කුරුලු කෙවිලි
ගයනා ගී මියුරු සැහැලි
ඈත හුළඟ කරයි පෙරැළි
ඇසෙයි සිලිල නඟන සරැලි

නැඟෙනා කුරවීක නදින්
දුරුවෙයි හිස් බව අහසින්
කරනු ද කවුරුන් සක්මන්?
පෙරහැරකින් පුර ලන්ඩන්

රැයක එවන් මසේ පොසොන්
රුවැති හඳකි මුදු අඩවන්
අවිහිංසක වෙද කොතරම්?
ප්‍රමෝදයන් රැයෙක එවන්


____________________________________________________

The Sun Has Long Been Set - William Wordsworth

The sun has long been set,
The stars are out by twos and threes,
The little birds are piping yet
Among the bushes and the trees;

There's a cuckoo, and one or two thrushes,
And a far-off wind that rushes,
And a sound of water that gushes,
And the cuckoo's sovereign cry
Fills all the hollow of the sky.
Who would go `parading'
In London, `and masquerading',

On such a night of June
With that beautiful soft half-moon,
And all these innocent blisses?
On such a night as this is!

2016/06/06

කෑලි කැපෙන හුදෙකලාව

ගියෝ උන් මා අතැර විගසින්
කෑලි කැපෙනා හුදෙකලාවක
කල් බලන තත්පර කටුව මහ
හඬක් වී ඉකි බිඳී තනියම

සිසිර සීතල හමාවිත් උස්
හිස් ද පිරිමැද ඕක් වියනක
සුදෝ සුදු වේලයක් දවටයි
සුපිපි ලයිලැක් පඳුරු යායක

සීතල ද මේ තරම් තනිකම?
පැමිණි කල හැරදා උපන් බිම
අන්ධකාරය කුර ගගා එයි
තිමිර ලූ කඳු පාර බැහැගෙන

නම නොදන්නා පුංචි කැකුලක්
මලේසිත්සේ නුවර මිදුලක
බලා සිටියා වසන්තය එන
තුරා අරගෙන පළමු හාදුව

සැලෙන ඇසිපිය බියද බියකර
දිලිසුණා ඇස රහස් ප්‍රීතිය

ආදරේ හිම පියලි අරගෙන
මේ වැටෙන්නේ ප්‍රථම පතනය

2015/08/05

ටික කාලෙකින්

උගෙනීවි ටික කාලෙකින් ඔබ
සියුම් වූ වෙනස ඒ
අතින් අල්ලා ගැනීමේ හා ආත්මයකට බැඳීමේ.
උගනීවී ඔබ ආදරය යනු උගැන්මක් නොවන වග
ඇසුරක් යනු හැමවිටම සුරක්ෂාවක් නොවන වග

අරඹා වී ඔබ උගන්නට
හාදුවක් යනු ගිවිසුමක් හෝ
තිළිණයක් යනු ප්‍රතිඥාවක් නොවන වග
අරඹා වී ඔබ බාරගන්නට පරාජයන්
නොබා හිස දරා ඍජු බැල්මක්
නොදරුවකුගේ ශෝකයෙන් නොව
ගැහැණියකගේ ලාලිත්‍යයෙන්

උගෙනීවි ඔබ
තනන්නට ඔබේ මාවත් අදම
මන්ද හෙට පොලොව අනියත
බැවින් ඔබැ සැලසුම් වලට
අනාගතයේ මාවත කඩා බිඳ
වැටෙනු හැකි නිසා ගමන අතරතුර

උගෙනීවි ටික කාලෙකින් ඔබ
ඉක්මවූවොත් පමණ
හිරු රැසද ඔබ දවා ලන බව
සරසන්න එබැවින් ඔබැ ආත්මය
ඔබේ උයනම වගාකොට
බලා නොහිඳිමින් අනෙකෙකු
රැගෙන එනතුරු මල් පොකුරු

උගෙනීවි ඔබ
කෙතරම් ඉවසිය හැකිද කියා ඔබට
කෙතරම් ශක්තිවන්තද කියා ඔබ
කෙතරම් වටනේද කියා ඔබ
උගෙනීවි ඔබ උගෙනීවි ඔබ
සෑම සමුගැන්මකම පාසා ම
උගෙනීවි ඔබ

______________________________________________

Veronica A. Shoffstall විසින් ලියා පලකොට ඇති After a While නම් වූ මේ කවිය මට හමු වුණේ Pinterest අවකාශයේ දී. ගැහැණියකගේ වීරෝක්ති ආත්ම ප්‍රකාශනයක් ලෙස මෙහි ඇත්තේ ලගන්නා සුළු බවක්. ඒ නිසයි එය පරිවර්තනය කරන්න හිතුනේ.

ළබැඳියෝ සමුගෙන සදහටම

ළබැඳියෝ සමුගෙන
සදහටම  වන හංසයෝ
සැඟවී වලාවක 

(බෂෝ හයිකු කවි ඇසුරින් )

2015/07/30

ගිම්හාන සඳ

ගිම්හාන සඳ
නගත අත් පොළසන්
අරුණෝදයේ
පණිවුඩය ගෙන එමි


(බෂෝ ගේ හයිකු කවියක් ඇසුරින්)

2015/07/28

ඉන්ද්‍රජාලික ඔලේශ්‍යා

පාලු පිල්සෙන් චතුරශ්‍රයේ
දෙව්මැදුරු කොත් කැරලි සිපගෙන
අන්ධකාරය බිම වැටේ
හිම පියලි එක දෙක රැගෙන තනියට

සරමි අතැඟිලි වැළඳ එකිනෙක
මෙතැන තිබෙනා එකම උණුසුම
අඳුරු පොප්ලර් වියන විනිවිදි
ඉන්ද්‍රජාලික ඔලේශ්‍යා නුඹ

හුදෙකලා නැවතුමක තණ පත්
පවා මුනිවත පුරන මොහොතක
මිහිරි දෙතොලක මෙලෙක දැනුණා
ප්‍රේමයේ තෙතමනය අරගෙන
සැණෙලියක් මෙන් ඇසල අහසක
එලිය දුන් ජීවිතේ නිමෙසක
රැඳුනි තණ අග පිණි පොදක් ලෙස
ඉන්ද්‍රජාලික සොඳුරු ප්‍රේමය

වසන්තය මග හැරී පලුපත්
බිම වැටෙන එක සරත් සමයක
මග හැරී කඳුකර ඉසව්වක
මා නොදන්නා දුර කොදෙව්වක
හදේ ගැඹුරක සඟවලා ගිය
ප්‍රේමයේ සුන්දරම මතකය
සිහිනයක් වී තවම ඇත හිම
පියල්ලක් දුටු විටෙක හිනැහෙන


* ඔලේශ්‍යා - රුසියානු ගත් කතුවර අලෙක්සාන්දර් කුප්රින්ගේ කෙටි කතාවක එන සුන්දර ඉන්ද්‍රජාලික (wizard) තරුණියකි