දිගන්තය ඉම පාලු අහසත
විදුලි සර එක දෙක නටන විට
නොහිතුනා නම් නොවෙයි මට ඒ
පමා වූ මෝසම් සමය වග
තෙතැති ඉල් මහ හුදෙකලා වූ
වලාවක් සේ රැගෙන සිරිපොද
ලපලු දෙතොලින් මිදී හනිකට
හෙමි හෙමින් ගිලිහෙණා පොලොවට
ඉඩෝරය විත් ඉරි තලා ගිය
මහපොලෝ හද මඬල පිරිසිඳ
පතිත වී වස්සාන බිජුවට
අසනි වර්ෂාවක් ම විලසට
සරැලි මුදමින වැළඳ සෙනෙහස
බුබුළු ලයි ප්‍රීතියෙන් ඔකඳව
පියාගමි නෙත ඇතත් එහි තෙත
ළදරුවෙකි උණුහුමට ගුලිවෙන
උරාගමි ඔබ පිපාසිත මා
ආත්මය වෙත ගැඹුරු පතුලට
පෙරා ගෙන සිය දහස් ගණනක
නහරවැල් නාලිකා අතරට
සිරිපොදත් ඔබ - සිහිලසත් ඔබ
පමා වූ වස්සානයත් ඔබ
සියොත් සරකුදු නොවූ කතරක
සොඳුරු කවියක වියමනත් ඔබ
පොලොව සී සා කෙතෙහි දියබැඳ
නියං අහසට හැඬුව පෙරදින
නොආවේ ඇයි කියා නොඅසමි
ඔබ ද නොදනී ඊට පිළිතුර
සිසිර නිද්‍රාවකින් ගොළු වූ
මතක අමතක පැරණි බිජුවට
කෙසේ නම් දෙපෙති ව නැගෙන්න ද
අකල් වස්සානයේ සිහිලට
පිරී ඇත හද - තවත් ඉඩ ඇත
දරා ඉන්නට ඔබේ ප්‍රේමය
දනිමි නොරැඳෙනු නොහැක නොගොසින්
ඔබට හිමි වූ සයුරු දියඹට
තබා සිරකර ගනිම් කෙලෙසක
ගලා යන නිදහසක අරුමය
ලිහාලමි ඔබ පිරුණු දෝතම
ඇඟිලි අතරින් මිදී යන්නට
කියවගෙන ගියා.. ඒ්ත් හැගිමක් නැතිව ගියා..
ReplyDelete