හැපි හැපී කඳු කොපුල් මත
හඬා බසිනා කඳුළු කඳුරු ද
සිඳෙයි - සීතල කඳුකරේ මේ
සුසුම් උණුසුම් රශ්මියේ !
ඉකි ගසා ළයැ අත තබා
එබි එබී වෙවුළන ඉළුක් තුඬැ
රැඳෙන්නේ ඒ කඳුළුදැයි මට
නො තේරෙයි අම්මේ !
ආදරය උතුරා පිරූ
කිරි රස දැනී රෑ සීනයේ
හද තෙමා ගැලුවේ මෙ දා
ඒ කඳුළු දෝ අම්මේ ?
ඉණැ තබා නෙලනා පලා
ගෙන’වුත් කැවූ දුවනා මුවන්
අහලක පවා නොම වූ දිනේ
හුරු පුරුදු සේ තනිව ම නැඟී
ගියෙ ඇයි ඉතින් මේ විගසිනේ?
නිම්මා නැතිව දුක් අනුභව කොට බතට
සම්මා සමිඳු සේ ඉවසා දුක් ගැහැට
පෙම්මාදරය අහවරයක් නැති හිතට
අම්මා ගියේදෝ කිරි එරවා එන්ට
කාසිගස් සර සරය අතරේ
පොර වැටී නොමිනිස් නගරයේ
දිනෙක කොල අහුරක් කඩාගෙන
නුඹ බලන්නට ගමට එන්නයි
සැරසුණේ මා සත්තමයි !
තරහ වීදෝ නුඹත් මා හා
මේ ලෙසින් සැඟවී ගියේ?
පස් පිඬක් ලමි හිත හදාගෙන
රන්රුවන් ඇත්තෙත් එසේමැයි !
මහ පොළොව සේ උතුම් අම්මේ
කවුරු අප නෙත් පිස දමත්දැයි?
අන්ධකාරය හූ කියාගෙන
හඬාගෙන දුවනා
රේල් පාරෙන් පියවරක්
ඉහළට තබාලා ගොඩවෙනා
හවුල් ඉඩමේ පස් පිඬැලි යට
මගේ හදවත වළ දමා
එතැන දචසක මල් පිපෙන තුරු
හිඳිමි කඳුලින් පැන් වඩා