2015/08/05

ටික කාලෙකින්

උගෙනීවි ටික කාලෙකින් ඔබ
සියුම් වූ වෙනස ඒ
අතින් අල්ලා ගැනීමේ හා ආත්මයකට බැඳීමේ.
උගනීවී ඔබ ආදරය යනු උගැන්මක් නොවන වග
ඇසුරක් යනු හැමවිටම සුරක්ෂාවක් නොවන වග

අරඹා වී ඔබ උගන්නට
හාදුවක් යනු ගිවිසුමක් හෝ
තිළිණයක් යනු ප්‍රතිඥාවක් නොවන වග
අරඹා වී ඔබ බාරගන්නට පරාජයන්
නොබා හිස දරා ඍජු බැල්මක්
නොදරුවකුගේ ශෝකයෙන් නොව
ගැහැණියකගේ ලාලිත්‍යයෙන්

උගෙනීවි ඔබ
තනන්නට ඔබේ මාවත් අදම
මන්ද හෙට පොලොව අනියත
බැවින් ඔබැ සැලසුම් වලට
අනාගතයේ මාවත කඩා බිඳ
වැටෙනු හැකි නිසා ගමන අතරතුර

උගෙනීවි ටික කාලෙකින් ඔබ
ඉක්මවූවොත් පමණ
හිරු රැසද ඔබ දවා ලන බව
සරසන්න එබැවින් ඔබැ ආත්මය
ඔබේ උයනම වගාකොට
බලා නොහිඳිමින් අනෙකෙකු
රැගෙන එනතුරු මල් පොකුරු

උගෙනීවි ඔබ
කෙතරම් ඉවසිය හැකිද කියා ඔබට
කෙතරම් ශක්තිවන්තද කියා ඔබ
කෙතරම් වටනේද කියා ඔබ
උගෙනීවි ඔබ උගෙනීවි ඔබ
සෑම සමුගැන්මකම පාසා ම
උගෙනීවි ඔබ

______________________________________________

Veronica A. Shoffstall විසින් ලියා පලකොට ඇති After a While නම් වූ මේ කවිය මට හමු වුණේ Pinterest අවකාශයේ දී. ගැහැණියකගේ වීරෝක්ති ආත්ම ප්‍රකාශනයක් ලෙස මෙහි ඇත්තේ ලගන්නා සුළු බවක්. ඒ නිසයි එය පරිවර්තනය කරන්න හිතුනේ.

ළබැඳියෝ සමුගෙන සදහටම

ළබැඳියෝ සමුගෙන
සදහටම  වන හංසයෝ
සැඟවී වලාවක 

(බෂෝ හයිකු කවි ඇසුරින් )

2015/07/30

ගිම්හාන සඳ

ගිම්හාන සඳ
නගත අත් පොළසන්
අරුණෝදයේ
පණිවුඩය ගෙන එමි


(බෂෝ ගේ හයිකු කවියක් ඇසුරින්)

2015/07/28

ඉන්ද්‍රජාලික ඔලේශ්‍යා

පාලු පිල්සෙන් චතුරශ්‍රයේ
දෙව්මැදුරු කොත් කැරලි සිපගෙන
අන්ධකාරය බිම වැටේ
හිම පියලි එක දෙක රැගෙන තනියට

සරමි අතැඟිලි වැළඳ එකිනෙක
මෙතැන තිබෙනා එකම උණුසුම
අඳුරු පොප්ලර් වියන විනිවිදි
ඉන්ද්‍රජාලික ඔලේශ්‍යා නුඹ

හුදෙකලා නැවතුමක තණ පත්
පවා මුනිවත පුරන මොහොතක
මිහිරි දෙතොලක මෙලෙක දැනුණා
ප්‍රේමයේ තෙතමනය අරගෙන
සැණෙලියක් මෙන් ඇසල අහසක
එලිය දුන් ජීවිතේ නිමෙසක
රැඳුනි තණ අග පිණි පොදක් ලෙස
ඉන්ද්‍රජාලික සොඳුරු ප්‍රේමය

වසන්තය මග හැරී පලුපත්
බිම වැටෙන එක සරත් සමයක
මග හැරී කඳුකර ඉසව්වක
මා නොදන්නා දුර කොදෙව්වක
හදේ ගැඹුරක සඟවලා ගිය
ප්‍රේමයේ සුන්දරම මතකය
සිහිනයක් වී තවම ඇත හිම
පියල්ලක් දුටු විටෙක හිනැහෙන


* ඔලේශ්‍යා - රුසියානු ගත් කතුවර අලෙක්සාන්දර් කුප්රින්ගේ කෙටි කතාවක එන සුන්දර ඉන්ද්‍රජාලික (wizard) තරුණියකි

2015/07/23

හුදෙකලා වූ වලාවක් සේ පාව යමි

හුදෙකලා වූ
වලාවක් සේ
පාව යමි නුබ ගැබ
ගිරි ශිඛර මිටියාවත් මතින්.
දුටිමි තුරු වියන අතරින් විල්තෙරක අසබඩ
යායකි රන් පෑ ඩැෆඩිල්
මඳ නලින නැළවෙන ලෙළෙන

ක්ෂීර පථයේ රැඳී දිදුළන
ඉඟිකරන තරු සේ අපරිමිත
තෙරක් නොපෙනෙන අනන්තය තෙක්
විහිදුණා එය ඉවුරු ඉම දිග
එකම බැල්මෙක රැඳිණ සහසක්
සැලෙන හිස් නව යොවුන් රැඟුමක

සරැලි රඟ දෙන මොබින් හිඳ උන්
පැරදුවා රල තුටින් බුබුලන
එවන් ආනන්දමය නිමෙසක
කෙසේ ප්‍රමුදිත නොවෙද කිවියර
බලා සිටියෙමි.. බලා සිටියෙමි..
සිතුම් නවතා බලා සිටියෙමි..
ඉසුර මා වෙත රැගෙන ආවේ
කුමක් වේදැයි කියා විමසමි

සයනයේ මා වැතිර හිඳිනා
හුදෙකලා කල්පනා දැහැනක
සැණෙලියක් සේ නැගී මනැසට
හුදෙකලාවේ මිහිර සිහිකර
ප්‍රමෝදය විත් පිරී හදවත
රඟයි ඩැෆඩිල් යාය සමගින!


විලියම් වර්ඩ්ස්වර්ත් ගේ I wandered lonely as a cloud කවියේ සිංහල ප්‍රතිරචනය 

2015/07/19

ශිශිර නිද්‍රාවේ බිජුවට නොහොත් පමා වූ මෝසම් වැස්ස

දිගන්තය ඉම පාලු අහසත
විදුලි සර එක දෙක නටන විට
නොහිතුනා නම් නොවෙයි මට ඒ
පමා වූ මෝසම් සමය වග
තෙතැති ඉල් මහ හුදෙකලා වූ
වලාවක් සේ රැගෙන සිරිපොද
ලපලු දෙතොලින් මිදී හනිකට
හෙමි හෙමින් ගිලිහෙණා පොලොවට

ඉඩෝරය විත් ඉරි තලා ගිය
මහපොලෝ හද මඬල පිරිසිඳ
පතිත වී වස්සාන බිජුවට
අසනි වර්ෂාවක් ම විලසට
සරැලි මුදමින වැළඳ සෙනෙහස
බුබුළු ලයි ප්‍රීතියෙන් ඔකඳව
පියාගමි නෙත ඇතත් එහි තෙත
ළදරුවෙකි උණුහුමට ගුලිවෙන

උරාගමි ඔබ පිපාසිත මා
ආත්මය වෙත ගැඹුරු පතුලට
පෙරා ගෙන සිය දහස් ගණනක
නහරවැල් නාලිකා අතරට
සිරිපොදත් ඔබ - සිහිලසත් ඔබ
පමා වූ වස්සානයත් ඔබ
සියොත් සරකුදු නොවූ කතරක
සොඳුරු කවියක වියමනත් ඔබ

පොලොව සී සා කෙතෙහි දියබැඳ
නියං අහසට හැඬුව පෙරදින
නොආවේ ඇයි කියා නොඅසමි
ඔබ ද නොදනී ඊට පිළිතුර
සිසිර නිද්‍රාවකින් ගොළු වූ
මතක අමතක පැරණි බිජුවට
කෙසේ නම් දෙපෙති ව නැගෙන්න ද
අකල් වස්සානයේ සිහිලට

පිරී ඇත හද - තවත් ඉඩ ඇත
දරා ඉන්නට ඔබේ ප්‍රේමය
දනිමි නොරැඳෙනු නොහැක නොගොසින්
ඔබට හිමි වූ සයුරු දියඹට
තබා සිරකර ගනිම් කෙලෙසක
ගලා යන නිදහසක අරුමය
ලිහාලමි ඔබ පිරුණු දෝතම
ඇඟිලි අතරින් මිදී යන්නට

2015/04/21

දුවේ ඔබ අහගෙනද?

එන්න දුවගෙන එන්න
සිඟිති පා සලා හනිකට එන්න
දූට පෙන්නන්න කඳුලක්
මෙතැන තියෙනවා

කම්මුලේ තැවරෙනා
හාදුවක කිරි සුවඳ
මගේ නැහැ පුඩු අතර
දුව ඇවිද නටන කොට
ජීවිතේ මහා බර ලිහෙනවා
නිල් කැටේ වගේ පෑදුණ
පුංචි ඇස් දෙකේ සීතලෙන්
මගේ හිත හෙමි හෙමින් නිවෙනවා

මල් කැකුළු ගිනි වැදී
ළපලු පත් බිය වැදී
දුකින් ඇස් පිරෙන විට
හලාහල විස පිරුණ
මේ නපුරු ලොවම ගැන
මහා තරහක් හිතට දැනෙනවා

පෙන්වන්න දුකයි මට ඒ පැත්ත
වැඩියි බර වැඩියි දුක
ඔය පුංචි ඇස් වලට
අර අතන පොඩි වෙච්ච මල් පියලි
නටු අගම කටු අතර ලේ බිංදු
වරල් කඩදහි ඉරුණ සමනල්ලු
පලා පරඬල් රකින රැකවල්ලු
රළු බොරලු මාවතේ පෑගිලා කඳුළු බිඳු
අනේ ඉකි ගස ගසා හඬන හැටි
බිලිඳු දලු ඇහැ තුඩින්
පලිත පත් මතට අද හැලෙන
උණු පිනි බිංදු
මම කොහොම වසංගන්නද දූට?

ලෝක සිතියම් පොතේ
පුසුඹ විසිතුරු පැහැය
කිලිටි අත් අතරේම වහං වී
දියවෙලා කිසිදාක
කියවන්න බැරි ලෙසට

දූ දන්නේ නෑ දුවේ
ගුලිකරන් ඉන්න ඔය පොඩි අතේ
හෙට දවස හැංගිලා ඉන්නවා
සඟවගෙන ඉන්න බෑ හැමදාම
හෙට උදේ හැබැහින්ම පිපෙනවා!
උදාවන උදෑසන අලුත් උණුසුම් එළිය
දූගෙ එක හාදුවක තියෙනවා!
හෙට උදේ පීදෙන්න
දූගෙ හසරැල්ල ළඟ
මම මගේ ජීවිතය තබනවා!
අන්න! අර හිනා කට
දූත් එහෙනම් ඒක දන්නවා ?

2015/02/19

තනිකඩයාගේ ලෝකය














හා පැටියෙක් වගේ බොළඳ අරුම හිතක් මට    තියෙනව
වෙලාවකට වඩාන ඌ අඳුරට මං ගාල්                වෙනව
හුරතල් බස් කියෝ කියෝ පරක් කරන්නට          හදනව
මෙන්න අනේ මේකා මගෙ පපුව විකල පැනල      යනව

හවස් කාලෙ මිදුලට සුදු සමන් පිච්ච පෙති       වැටෙනව
පාගන්නට ලෝබ නිසා මං පිල උඩ වාඩි             වෙනව
පාලොස්සක රන් තැටියෙන් කඳුළු වතුර පෙරී       එනව
මටත් හොරා මගේ දෑස් ඒ හඳ වතුරේ            පෙඟෙනව

ගොම්මන් අඳුරට ඇහැ ලාගෙන මම තරු කැට   ගණිනව
තරු පොකුරින් හැමදාමත් එක දෙක පරවී       වැටෙනව
මේ විසාල ලෝකේ මට කවුරුත් නැතිදැයි        හිතෙනව
ඒ මොහොතේ මගේ හිතේ මහා දුකක් මෝදු       වෙනව

ඇහැ පියවෙන රෑට රෑට පුංචි කෙවිල්ලක්          ඇදෙනව
හිත පිරෙන්න පුංචි කතා කිය කිය හිස            පිරිමදිනව
හොර රහසෙම මුවට නැමී නළල සිඹින්නට         හදනව
ඒ එක්කම කඳුළු උනල හීතලේට ඇහැ            ඇරෙනව

තණ අග පිණි බිංදු වලට හුඟක් ආදරේ             හිතෙනව
අතට ගංඩ හිතන කොටම බිමට වැටිල නොපෙනී   යනව
ඔච්චං හඬකින් හඬලන දෝංකාරයක්               ඇහෙනව
ඇහැ ඇරලා බැලුවම කෝ ? කවුරුත් නැති බව දැනෙනව

දෙනෝ දහක් දෙනා මාව පහු කරගෙන පෙරට      යනව
දුවන්න මට හිත් දෙන්නෑ එහෙම උනොත් හති වැටෙනව
දිනුං කොඩිය අතට ගංඩ දුවපු අයත් මඟ          වැටෙනව
යනින් ගමන කොයි කවුරුත් ඇහැරවගෙන එක්ක යනව


2015/02/15

පින්කාරියේ

පින්කාරියේ
මුමුණා බැතිබර ප‍්‍රාර්ථනා
පෙරදා පින්බිමැ පූජාසනේ
පිදූ කැකුලමයි ඔබ අද දෙපයින්
පාගා සිඳ දැමුවේ

රතැඟිලි තුඬගින් එකිනෙක දිගහැර
ඔබම නොවෙද මල් පෙති පිබිදූයේ
උවසු උවැසියන් අතරේ තෙරැපී
ඔබම නොවෙද මලසුන් සැරැසූයේ
පින්කාරියේ
කෙලෙසද ඒ මල
පාගා සිඳ දැමුවේ

පරවී ගිය ඒ අතීත සුවඳින්
ඔබම නොවෙද හද පුරවාලූයේ
මලසුන තෙමමින් ගැලූ සෙනෙහසින්
ඔබම නොවෙද පැන් සනහාලූයේ
පින්කාරියේ
කෙලෙසද ඒ මල
පාගා සිඳ දැමුවේ

2015/02/06

යළි නො එන මේ මොහොත - Kal Ho Na Ho

ජීවිතේ මෙ සෑම මොහොතම 
යයි වෙනස් වෙවී
සෙවණකින් මිදී යලිත් එයි 
සැඩ හිරුත් නැගී
මොහොතත් ගෙවන් 
පිරිපුන් ලෙසින්
මේ මොහොත නම් 
යළි හෙට නො ඒ

හදවතින්ම පෙම් කරනා
කෙනෙකුන් හමුවනු අරුමා
කොතැනක හෝ හමු වී නම්
ඇය වේ ලොව තුල මනරම්
අත ගෙන ඇගේ රැකගන්න දැන්
ඔබ වෙතට ඈ යළි හෙට නො ඒ

ඇසිපිය සෙවනට පාවී 
කිසිවකු ඔබ වෙත ඒවී
හදවත සඟවා වලකනු කෙලෙසද
ගැහෙමින් නද දෙයි රිසි සේ 
දැනගන්න ඒ මොහොතයි ඔබේ
ජීවිතය මේ යළි හෙට නො ඒ
______________________________________________

"කල් හෝ නා හෝ" යනු බොළද චිත්‍ර පටයක් සේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒත් මා විශ්වාස කරන පරිදි කිසියම් නිර්මාණයක අවසාන විනිශ්චයේදී වැදගත් වන්නේ බාහිර සැරසිලි නොව ඒ තුළ ගැබ්වන ලෝක දෘෂ්ටිය යි. කල් හෝ නාහෝ හි මුඛ්‍ය තේමාව වන "ආදරය යනු අයත් කර ගැනීමක් නොව පරිත්‍යාගයක්ය" යන සංකල්පයට මම බෙහෙවින්ම කැමතියි. ආදරය අහිමි වූ කල අහිමි වස්තුව නසාලන්නට තරම් ආදරය පිලිබඳ අර්ථ නිරූපණය විපරීත වූ ලෝකයක, නාස්තික දෘෂ්ටියක් වපුරන කලාත්මක නිර්මාණයකට වඩා මේ බොළඳ චිත්‍රපටයේ එන මේ ගීතයට මම ප්‍රිය යි. මේ රචනය බිහිවීමට හේතු උනේ අයෙක් මට දුන් අභියෝගයක්. මෙම ගීතයේ මුල් කෘතියේ අරුත එම තනුවට ම අනුගත වන සේ සිංහලට නැගීම යි ඒ. ගීතයක තනුවකට වචන යෙදීම එ තරම් අපහසු නෑ. ඒත් නිශ්චිත පදමාලාවක් එම තනුවට ම අනුව වෙනත් බසකට නැගීම අතිශයින් අපහසු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. මම ඒ අභියෝගයට මුහුණ දුන් අයුරුයි මේ. 
________________________________________________________________________________________

හර් ඝලී බදල් රහි හෛ රූප සින්දගී
චාවු හෛ කභි කභි හෛ ධූප සින්දගී
හර් පල් යහා ජී භර ජියෝ
ජෝ හෛ සමා කල් හෝ නා හෝ

චහෙ ජො තුම්හේ පුරෙ දිල් සේ
මිලිතා හෛ වෝ මුස කිල් සේ
ඒස ජො කෝයි කහී හෛ
බස වහි සබසෙ හසී හෛ
උස හාත කෝ තුම් තාම ලෝ
වෝ මෙහෙර බාන් කල් හෝ නා හෝ

පලකො කෙ ලේකේ සායේ
පාස කොයී ජෝ ආයේ
ලාක සම්භාලෝ පාගල් දිල කෝ
දිල් ධඩකේ හී ජායේ
පර සෝච ලෝ ඉස් පල් හෛ ජෝ
වෝ දාසටාන් කල් හෝ න හෝ

2015/01/27

හව්හරණක් නැති කෙවිලිය

තනිව හඬන්නෙමි 
සිතිවිලි සිර කුටියේ
මා ළය විනිවිද 
දකිනා තුරු ඔබැසින්
තනිව ගයන්නෙමි 
ලොවට ඇසෙන සේ
හව්හරණක් නැති 
කෝකිලාවක මෙන්

මෙලොව දුටුදා පටන් ලද දුක්
වේදනා අවමන් බරින්
පියාපත් සිරවී
පියාඹා යනු නොහැක අහසේ
කිරිලියක විලසින්

නොලැබ ආ මඟ ලොවෙන් කිසිකල
දයාවේ සිහිලස බිඳක්

ළය මඬල සිරවී
ගායනා කළ නොහැක තවදුර
කෙවිලියක විලසින්


සත්සර මුසුව - එච්. එම්. ජයවර්ධන
කටහඬ - ගීතා කුලසේකර

2015/01/24

ගිම්හානයේ සිහිලක්

ගිම්හානයේ සිහිලක් පතා
යාඥා කළෙම්
වස්සානයේ සෙවණක් සොයා
යාත‍්‍රා කළෙම්
ස්නේහයේ පැන් පොදක් පතා
හඬනා හඬට සරදම් නොදෙන්

යනෙන මග පය වැකෙන 
රැවුම් අවමන් සිනා
අතර විකසිත එකම දයාබර සිනාවක් 
හදවතම පිරිමදින සෙනෙහෙබර කටහඬක්
යාඥා කළෙම්

නිදහසේ මුව විටින් පිරී උතුරා හැලෙනා
ගැහැට බාධක පිසැර ගලායන ඕඝයක්
ස්නේහයේ සිහිල පිරි නිමල දිය උල්පතක්
යාඥා කළෙම්

සත්සර මුසුව - රෝහණ වීරසිංහ
කටහඬ - දීපිකා ප‍්‍රියදර්ශනී පීරීස්

1990

වෙල්ලස්සේ ගුරුතුමී

වෙල්ලස්සට අමාවකේ
සීතල සඳ පෑයුවා ද
නිල් වනන්තරේ කුරුලු ඇහැට
සිහිල අරන් නුඹ ගියා ද
ඉස්කෝලේ පුංචි හොටට
පල සම්පත සෑහුණා ද
මල් පෙත්ත නුඹට කටු අකුලේ
හිනාවෙන්න හැකි වුණා ද

අතින් කටින් උහුලාගෙන අත මිට හිඟ පාඩු
වනන්තරේ වනපස මල් කවදත් පීදේ ලු
අතක් බරට අකුරු අරන් නුඹ හිමයට ඒ ලු
ළමැද හිඳුණ වැව් තලයට නිලි වැස්සක් වී ලු

කවා සියතින් ම පැටවුන් අඩක් පිරූ කුසිනී
නිදා අතුට වල් කොල බිම සදා යහන තුටිනී
සිනා කටත් ආදරයත් නමා දෙදණ බැතිනී
වැටී වඳීති දහස් වටින සෙවනැල්ලට නිතිනී